සොබාදහම විසින්
විශ්වයට දායාද කළ අපූර්වත ම නිර්මාණය සත්ත්වයා ය. එකී සත්ත්වයා අතරිනිඳු අනාගත
පරපුරක අනන්‍යතාව ලෙස ස්ත‍්‍රී පුරුෂ වශයෙන් ප‍්‍රභේදාත්මක දෙකොටසකි. මෙහිලා අපගේ අවධානය
යොමු වනුයේ තත් ප‍්‍රභේදයන් අතුරින් ‘ස්ත‍්‍රිය’ පාදක කොටගෙන ස්ත‍්‍රිත්වය හා ස්ත‍්‍රි
භාවය සම්බන්ධයෙන් සමාජය තුළ ඇති වී තිබෙන සමාජ ගැටළුව කෙරෙහි බුදුසමය දක්වන ආකල්පය
පිළිබඳ විමසීම සඳහාය.
ඒ අනුව මෙහිලා තත් ප‍්‍රස්තුතය
පිළිබඳ විමසීමට පූර්ටයෙන් ‘‘ස්ත‍්‍රිය’’ යන්න හඳුනා ගැනීම උචිත ය. ඒ අනුව ස්ත‍්‍රිය
යන්නට ලබා දිය හැකි නිර්වචන රාශියක් හඳුනාගත හැකි ය.
‘‘ස්ත‍්‍රිය - කාන්තාව, ගැහැණිය, සියලූ සතුන්ගේ (
විරුද්ධ ලිංගික සතා )බිරිඳ, ස්ත‍්‍රී
ලිංග ගත් වචනය’’1
‘‘කාන්තා- කාන්තාව,ගැහැනිය,ලඳ,ස්ත‍්‍රිය’’2
‘‘Women – An
adult human female‘’3
යනාදී ලෙසවිවිධ මූලාශ‍්‍රයන්
හී විවිධ අර්ථකථනයන් දැක ගත හැකි ය.එම සියල්ල ම විමසා බැලූ විට අපට ලබා දිය හැකි සාර්ථක ම
විග‍්‍රහ වනුයේ
‘කුඩා දරුවෙකු ලෙස
මෙලොව උපත ලබා තිළකුණු දහමේ අසිරිය පෙන්වා දෙමින් බිළිඳියක, ළදැරියක, කන්‍යාවියක, යුවතියක, බිරිඳක, මවක හා පරිනත
අත්දැකීම් සහිත වයෝවෘද්ධ කාන්තාවක ආදී
වශයෙන් විවිධ භූමිකාවන්ට ගමන් කරන අනාගත පරපුරක් විශ්වයට දායාද කිරීමේ ශක්‍යතාව
හෙබි උතුම් මානව සත්ත්වයා යන්නයි’.
මේ අයුරින් හඳුනා
ගන්නා ලද ස්ත‍්‍රිය පිළිබඳ සමාජය තුළ විවිධ ගැටළු කාරිත්වයන් දක්නට ලැබේ.ඒ අතර
- සංස්කෘතිමය ගැටළු.
- සාමාජීය ගැටළු.
- ආර්ථික ගැටළු.
- දේශපාලනික ගැටළු.
- වරප‍්‍රසාද ලැබීමේ ගැටළු.
යනාදිය ප‍්‍රධාන වේ.
මේ අයුරින් ස්ථර
රාශියක් ඔස්සේ විහිදී යන උක්ත ගැටළුව පිළිබඳව සමාජය තුළ අඩු වැඩි වශයෙන් විමසා බලා
ඇත.උක්ත ප‍්‍රවේශයන්ට
අනුව විමසා බැලිමේ දී ස්ත‍්‍රිය සම්බන්ධයෙන් පවත්නා තත් ගැටළුකාරිත්වයන් ඉතා දීර්ඝ
කාලීනව පැවැත එන්නක් බව පෙර අපර විවිධ දර්ශනික හා
සාමයික ඉගැන්වීම් සාක්‍ෂ්‍ය සපයයි.මෙම තත්වය පැහැදිලි කරුණුමත ශිෂ්ටාචාරගත වී
ඇති ඉන්දු ආර්ය සභ්‍යත්වය තුළ මනාව දැකගත හැකිය.එහිදී පීතෘ මූලික ජන සමාජයක් විද්‍යමාන වුව
ද මවට (වනිතාවට හිමි වී ඇත්තේ ප‍්‍රශංසනීය ස්ථානයකි.ඒ බවට
- මාතෘ දෙවඟන පිදීම.
- කන්‍යාව සශ‍්‍රීකත්වයේ සංකේතය ලෙස සැලකීම.
- ඉගනුම් ඉගැනිවීම් ක‍්‍රියාවලියට අවස්ථාව සලසා දීම.
- ආධ්‍යාත්මික දියුණුවට අවස්ථාව ලබා දීම.
ආදිය සාධක සපයයි.
මෙම කරුණු මඟින් තත්
යුගයේ ස්ත‍්‍රියට යම් උසස් තත්වයක් ලැබී තිබූ නමුත් එය පුරුෂයා හා සර්ව සාධාරණ
වූවක් නොවූ බව ප‍්‍රකට කරුණකි. එහිලා ද බලපෑ
ප‍්‍රධාන සාධකයකි. ස්ත‍්‍රිය
වනාහි ලාවණ්‍ය, විශාල කායික
හා මානසික ශක්තියක් මෙන් ම දරා ගැනීමේ ශක්තියක් නොමැත්තියකි. එහෙත් පුරුෂයා වනාහි
නිරතුරුව ම රණකාමීත්වයෙන් යුතු තැනැත්තෙකි. මන්ද ඔවුනට නිරන්තරයෙන් තම ජීවිතය හා කුටුම්භය
ආරක්‍ෂා කරගනු වස් තවත් පිරිසක් අභිබවා යාමට සිදු විය. එබැවින් පුරුෂයා ප‍්‍රධාන විය. පීතෘ මූලික විය.
ඔහු ස්ත‍්‍රියට ආදරය
සෙනෙහස ගෞරවය ඉහත කරුණු පරිදි දක්වා තිබීමෙන් කාන්තාවට මෙම යුගයේ යම් උසස් තත්වයක්
ලැබී තිබිණි.
එහෙත් සෘග් වෛදික
යුගයට පසුව ඇරඹි බ‍්‍රාහ්මණ යුගයේදී ස්ත‍්‍රිය දැඩි පීඩාවට ලක් විය.ඒ සඳහා ඇයගේ ස්ත‍්‍රික්වය
ප‍්‍රබල සාධකයක් විය.පුරුෂාධිපති
සමාජක‍්‍රමය තුළ ස්ත‍්‍රිය කුමන ගණයේ උසස් කුලයක වුව ද ඇය නින්දාවට, ගර්වට, අසාධාරණයට ලක්විය.ඒ මෙසේ ය.
‘‘ඖදුම්බරං භවං පුෂ්පං - ශ්වේත වර්ණං ච කාකයො:
මත්ස්‍ය පාදං ජලෙ පශ්‍යෙත්-
නාරි චිත්තං න විශ්වශේත්’’4
‘‘දර්ශනං චිත්තවෛකල්‍යං-
ස්පර්ශනං ධන නාශනං
ශයනං මරණං කෘර්යාත්-
ස්ත‍්‍රි ප‍්‍රත්‍යක්‍ෂ රාක්‍ෂසි’’5
මේ අයුරින් නිර්ධය ලෙස
විවේචනයකට ලක්වන ස්ත‍්‍රිය අතීතයේ පටන්ම නින්දාවන්ට, අපවාදයන්ට හා අසාධාරණයට පාත‍්‍රවන සමාජ පර්ෂදයක්
බවට පත්ව තිබේ. එබැවින් එය
පුද්ගලරාශි සමාජයක් තුළ සුවිශේෂි ගැටළුවකි.ඒ අනුව උක්ත ගැටළුව පිළිබඳ අතීතයේ සිට දක්වන
ලද දරදඬු ක‍්‍ර‍්‍රමවේදය අතික‍්‍රමණය කරන බුදුසමය නවමු ආකාරයකින් විමසා බලයි.
ඉහත දක්වන ලද සියලූ
සාධක ගෙනහැර දක්වන ලදුයේ අපගේ මූලික ප‍්‍රස්තුතය වන ස්ත‍්‍රිත්වය හා ස්ත‍්‍රිභාවය
පිළිබඳ යම් ප‍්‍රවේශයක් ලබා ගැනීම සදහාය.ඒ අනුව මෙහිදී ස්ත‍්‍රිය හා ඇයට ඉතිහාසය තුල
කෙබඳු අනන්‍යතාවයක් හිමිවූයේද යන්න පැහැදිලිය.ඒ අනුව ස්ත‍්‍රිය තත් යුගයන් හි අපවිත‍්‍ර,අනුවණ,දුබල,කාමුක, නිතර වරදෙහි බැඳෙන,
අවිශ්වාසී, අපගාමී චරිතයක් ලෙස
උද්ධෘත කොට තිබූ බව ප‍්‍රකට කරුණකි. එය විශාල සමාජ ගැටළුවකි,එම ගැටළුව පිළිබඳ බුදුසමය ප‍්‍රවේශ තුනක්
ඔස්සේ් විමසා බලයි.
·
ජීව විද්‍යාත්මක
ප‍්‍රවේශය.
·
ආචාරවිද්‍යාත්මක
ප‍්‍රවේශය.
·
මනෝ විද්‍යාත්මක
ප‍්‍රවේශය.
වශයෙනි.
මෙහිලා තත් ප‍්‍රවේශයන්
සදහා මූලික පදනම බවට පත්කොට ඇත්තතේ ස්ත‍්‍රිත්වය හා ස්ත‍්‍රිභාවය යන සංකල්ප පදනම් කොටගෙනය.මේ අනුව
තත් ප‍්‍රස්තුතය පිළිබඳව විමසීමේ දී උක්ත ස්ත‍්‍රිත්වය හා ස්ත‍්‍රිභාවය යන
සංකල්ප දෙක මූලිකවම හඳුනා ගැනිම උචිතය.ඒ අනුව
· ඉත්ථිත්ථ-ස්ත‍්‍රිත්වය-
ශාරීරික වශයෙන් ස්ත‍්‍රියට හිමි ස්ත‍්‍රි සවරූපයයි.
· ඉත්ථිභාව- ස්ත‍්‍රි
භාවය- ද සමාජය තත් ස්ත‍්‍රි ශරීරය දෙස බලා ගොඩනගන ලද මතවාදයන්ය.
යනුවෙන්
හඳුනාගත හැකිය.
ඒ අනුව ස්ත‍්‍රිත්වය
යනු ස්ත‍්‍රිය ස්වභාව ධර්මය මඟින් ලද කායික
වරප‍්‍රසාදයකි. එය ඇයගේ අනන්‍යතාවයයි.
නමුත් ස්ත‍්‍රි භාවය
යන්න ඇය දෙස,ඇගේ
ශාරීරිකඅවයව දෙස බලා ගොඩනඟන ලද සමාජය මතාවදයන්ය. මෙහිදි ස්ත‍්‍රිය පිළිබඳ සමාජය තුළ උක්ත
පරිදි විවිධ ක්‍ෂේත‍්‍රයන්හි ගැටළු මතුවී තිබෙනුයේ සමාජ මතවාද හෙවත් ස්ත‍්‍රිභාවය
පදනම් කොටගෙනය.මෙහිලා බුදු
සමය ස්ත‍්‍රිත්වය පිළිබඳව වෙනස් වීමක් හෝ වෙනස් කිරීමක් පිළිබඳ නො විමසන අතර ඇය
පිළිබඳව පවතින සමාජ මතවාදය වෙනස් කිරීමට යත්න දරා ඇත.
එහි මූලික අවස්ථාව ලෙස
බුදු රදුන්, මෙලොව පහල වන
විවිධ සතුන් ස්වකීය අනන්‍යතා මත විවිධ ස්වරූපයන්, විවිධත්වයන් ගන්නා නමුත් මිනිසා එබඳු
විවිධත්වයකට පත්නොවන බවත් යම් හෝ ප‍්‍රභේදයක් වන්නේ නම් එය ස්ත‍්‍රි පුරුෂ භේදය
පමණක් බව පෙන්වා දෙයි.ඒ බව
බුදුරඳුන් වාසේට්ඨ සූත‍්‍රයේ දී දක්වනුයේ කුහුඔුවන්,පණුවන්,බළලූන්,වැනි සතුන් ඔවුන්ගේ ජාතිමය ලිංග ඇත්තන්ය.මන්ද ඔවුන්ගේ ජාතීන්
නානාප‍්‍රකාර වන බැවිනි.
‘‘තතො පක්ඛිපි
ජානාථ-පත්තයානෙ විඞගමෙ
ලිංග ජාති මයං
තෙසානං-අඤ්ඤමඤ්ඤාමි ජාතියො
යථා එතාසු
ජාතීසු-ලිංගං ජාති මයං පුථු
එවං නත්ථී මනුස්සෙසු-
ලිංගං ජාති මයං පුථු’’6
මෙයින් ප‍්‍රකට වනුයේ
මිනිසා තුළ ඇති එකම වෙනස ස්ත‍්‍රි පුරුෂ භාවය පමණක් වන බවයි. එයින් ගම්‍යවන්නේ තත්
රාමුවෙන් ඔබ්බට ගිය බලාධිකාරක් ස්ත‍්‍රියට හෝ පුරුෂයාට ගොඩනඟා ගැන්මට අවැසි නොවන
බවයි.එසේ යම් අතික‍්‍රමණයක්
සිදුවන්නේනම් හෝ යම් අවධානයකට ලක් වන්නේ නම් එයම සමාජ ගැටළුවකට මුල බීජයකි.
මෙම විභජනයෙන් තත්
ගැටළුවට ඇති ඉඩ ප‍්‍රස්ථාව අහිමි කර ඇත. එසේ ම මෙහිලා දක්වන ස්ත‍්‍රිය හා පුරුෂයා
යන්න පිළිබඳ ව ඉතා ගැඹුරු විග‍්‍රහයක් බුදු රඳුන් සපයා ඇත. එනම්ස්ත‍්‍රී ශරීරයක්
ඇති, ස්ත‍්‍රිය යනු
එම ස්ත‍්‍රී ශරීරයට ආශා කරන බාහිරෙන් පුරුෂ රූපයකට ලැදියාවත් දක්වන මනුෂ්‍ය සත්වයා
ය. පුරුෂයා යනු
පුරුෂ ශරීරයක් ඇති එකී පුරුෂ ශරීරයට ලැදියාවක් දක්වන බාහිරින් ස්ත‍්‍රී රූපයකට ආශා
කරන මනුෂ්‍ය සත්වයා ය.
මෙම නිර්වචනයට අදාල
මූලාශ‍්‍රය ලෙස සංයෝගවිසංයෝගධම්මපරියාය සූත‍්‍රය හැඳින්විය හැක. එහිදී උක්ත කාරණය මෙසේ
දක්වා ඇත.
‘‘ඉත්‍ථි භික්‍ඛවෙ
අජ්ඣත්තා ඉත්‍ථින්ද්‍රියා මනසි කරොති. ඉත්‍ථි කුත්තං, ඉත්‍ථාකප්පං, ඉත්‍ථිවිධං, ඉත්‍ථිච්ඡුන්‍දං, ඉත්‍ථිස්සරං, ඉත්‍ථාලංකාරං සා තත්‍ථ රජ්ජති. සා තත්‍ථ රත්තා තත‍්‍රාභිරමතා
බහිද්ධා පුරිසින්ද්‍රියං, පුරිසකුත්තං,
පුරිසාකප්පං, පුරිසවිධං, පුරිසච්ඡුන්‍දං,
පුරිසස්සරං, පුරිසාලංකාරං සා තත්‍ථරජ්ජති.
තත‍්‍රාභිරමතා.
‘‘පුරිසො භික්‍ඛවෙ
අජ්ඣත්තං පුරිසන්ද්‍රියං මනසි කරොති. පුරිසකුත්තං, පුරිසාකප්පං, පුරිසවිධං, පුරිසච්ඡුන්‍දං, පුරිසස්සරං, පුරිසාලංකාරං සො තත්‍ථරජ්ජති. තත‍්‍රාභිරමති.
සො තත්‍ථ රත්තො තත‍්‍රාභිරතො
බහිද්ධා ඉත්‍ථින්ද්‍රියං මනසි කරොති...’’7
උක්ත සූත‍්‍රයට අනුව
විමසා බැලීමෙදී ස්වීයත්වයට ගෞරවයක් දක්වමින්
බාහිරින් ස්ත‍්‍රි පුරුෂ රූපයන්ට ආශා කරන මානුෂීය සත්ත්වයා ස්ත‍්‍රිය හා
පුරෂයාගේ මෙම අනන්‍යතාවයට පත් වේ. එබැවින් බුදුසමය පෙන්වා දෙනුයේ ස්ත‍්‍රිය හා
පුරුෂයා ලෙස ප‍්‍රභේද ගත වනුයේ හුදු
ශාරීරික හා මානසික ක‍්‍රියාවලියක ප‍්‍රතිඵලයක් මිස යම් බලාධිකාරයක ප‍්‍රතිඵලයක්
ලෙස නොවන බවයි. මෙවැනි
දාර්ශනික හරයන් තුළින් ස්ත‍්‍රීත්වයත් ස්ත‍්‍රිභාවයත්, පුරුෂත්වයත් පුරුෂ භාවයත් පැහැදිලි කරන
බුදුසමය සමාජය තුළින් ස්ත‍්‍රිය කෙරෙහි කායික හා මානසික ලෙස සිදුකරන බලපෑම් විමසා
බැලීම සදහා උක්ත ප‍්‍රවේශයන් උපයෝගි කොට ඇත. බුදුසමය ස්ත‍්‍රිය දෙස සොයුරියක, මවක. භික්‍ෂුණියක ලෙස
සාධාරණ දැක්මක් ඉදිරිපත් කළ ද බ‍්‍රහ්මණ ආදී අන්‍ය සමයවාදයන් තුළ ස්ත‍්‍රිය දාසියක
හා පුරුෂයාගේ අවශ්‍යතාවයන් සපුරණ යන්ත‍්‍රයක් ලෙස දක්වයි.එම ගැටළුවට උක්ත ප‍්‍රවේශයන් ඔස්සේ කරුණු
දක්වයි.
Ø ජීව විද්‍යාත්මක ප‍්‍රවේශය.
ස්ත‍්‍රියක් හෝ
පුරුෂයෙක් වශයෙන් පවත්නා අනන්‍යතාවයන් වාසෙට්ඨ හා සංයෝගවිසංයොගධම්මපරියාය සූත‍්‍ර
මඟින් උක්ත පරිදි හඳුනාගත හැකිය.එම කරුණු මඟින්
ස්ත‍්‍රික්වය හා ස්ත‍්‍රිභාවය පිළිබඳ
සමාජය තුළ පවත්නා ගැටළු සම්බන්ධයෙන් බුදුසමයට අනුව ජීව විද්‍යාත්මක ප‍්‍රවේශයක්
ඔස්සේ විමසිය හැකිය.ඒ සඳහා අදාළ
කරගත හැකි ප‍්‍රබලතම මුලාශ‍්‍රය ලෙස දීඝ නිකායාගත අග්ගඤ්ඤ සූත‍්‍රය පෙන්වාදිය හැක.මන්ද එහි විශ්වාරම්භයේ
දී ආභස්සර බ‍්‍රහ්ම ලෝකයෙන් පෘථිවියට පැමිණි සත්ත්වයා තුළ ප‍්‍රාරම්භක අවධියේ දී (න
ඉත්‍ථිපුමා පඤ්ඤායන්ති) ස්ති‍්‍ර පුරුෂ භේදයක් නොවූ බව පෙන්වා දෙන බැවිනි.
’‘තෙ තත්ථ හොන්ති. මනොමයා, පීතිභක්ඛා, සයම්පභා, අන්තලික්ඛචරා, සුහට්ඨධායිනි චිරං දීඝමද්ධානං තිට්ඨන්ති.
’’8
මෙසේ වූ සත්ත්වයා ක‍්‍රමයෙන්
රස තෘෂ්ණාවෙන් යුක්තව පෘථිවියේ පහළ වූ විවිධ වැල්, හතු.ඇල් හාල් ආදිය අනුභව කිරීමත් සම`ග ශාරීිරික විපරියාසයන්ට ලක්්විිය.එය ස්ත‍්‍රිත්වය
හා පුරුෂත්වය ලෙෂ හඳුන්වයි. එසේ සිදු වූ ශාරීරික විපර්යාසයන් පිලිබඳව අග්ගඤ්ඤ සූත‍්‍රයෙහි
එන ‘‘ලිංගපාතුභාවො’’ නම් කොටසෙහි පැහැදිලි විස්තරයක් දක්නට ලැබේ.
‘‘තථා තථා තෙසංවාසෙටඨ ෂත්තානං භියේයාසොමත්තාය
ඛරත්තඤ්ඤච කායස්මිංඔක්කමි වණ්ණොචෙවණණතා ච පඤ්ඤායිත්ථ.ඉත්ථියා ච ඉත්ථිලිංගං
පාතුරහොසි.පුරුසස්ස ච පුරිසලිංගං ච පාතුරහොසි.’’9
මේ අයුරින් ආභස්සර බ‍්‍රහ්මලෝකයෙන්
පැමිණි තත් සත්වයා රස තෘෂ්ණාවෙන් ගිජු වීම නිසා ඔවුන්ගේ කය රළුවීම, දුර්වර්ණවීම විය.ස්ත‍්‍රියට
ස්තී‍්‍ර ලිංගය ද පුරුෂයාට පුරුෂ ලිංගය ද
පහළ විය.මෙම ඓතිහාසික මුලාශ‍්‍රයන් මඟින් ප‍්‍රකට වන කරුණ නම් මෙම ලිංග
භේදය සොබා දහමේ හා පුද්ගල මනසේ කි‍්‍රයා කාරීත්වයේ ප‍්‍රතිඵලයක් ලෙසය.එහි දී ස්ති‍්‍රයට
අනන්‍ය කායික ලක්‍ෂණවලින් මඟින් ඇය ස්තී‍්‍රය වූවාය.පුරුෂ කායික ලක්‍ෂණ වලින් යුතු
ඔහු පුරුෂයා වූයේය.එබැවින් ස්ති‍්‍රය හා පුරුෂයා අතුරෙන් යමෙකු උසස් කිරීමට හා
පහත් කිරීමට ඇති පදනම අපහැදිලිය.මන්ද එය ජීව විද්‍යාත්මක විපර්යාසය බැවිනි එසේම
එකී වෙනස අනෙනා්‍ය වශයෙන් විශ්වයෙහි පැවැත්මට උපකාරී වන්නකි.
එසේම ඇතැම් අවස්ථාවල
ස්ති‍්‍ර පරුෂ දෙපාර්ශවයට අනන්‍ය වූ විවිධ ශක්‍ය
තාවයන් ජීව විද්‍යාත්මකව හඳුනා ගත
හැකිය.එය ද ස්වභව ධර්මයේ පැවැත්මට අනුගත
වන පරිදිය.ඒ අතර පුරුෂයා කායික බලයෙන් වඩා වැඩිය.එය බොහෝ විට ස්ති‍්‍රයට අභිභවා යා
නොහැකිය.එසේම ශක්‍යතාවක් ස්ත‍්‍රියට ද ඇත.එනම් දරුවෙකු මෙලොවට දායාද කිරීමේ හැකියාවයි. එබැවින් අනන්‍ය වූ ලක්‍ෂණ අතුරින්
ස්ති‍්‍ර පුරුෂ දෙදෙනා අතුරින් ස්ති‍්‍රය ලඝුකොට තැකිය නොහැකිය.
එමෙන් මෙහි දී ස්ති‍්‍රයට තත් ස්තී‍්‍රත්වය හා ඇය සතු අග‍්‍රගණ්‍ය හැකියාව නිසාම උරුම වූ
ජීවවිද්‍යාත්මක සාධක කිහිපයකි.එම උරුමය නිසාම ඇය ඇතම් සමාජයන් විසින් නිර්දය
විවේචනයට ලක් කරයි. එමඟින් ඇය සමාජය ඉදිරියේ ගැටළු රාශියකට මහුණ පායි. එම තත්‍වය
විග‍්‍රහ කරන බුදු සමය කාන්තාවන්ටම උරුම වූ ආවේනික වූ දුක් (කැපකිරීම් ) ලෙස
කිහිපයක් දක්වා ඇත .එය ආවෙණික දුක්‍ඛ සුත‍්‍රයේ මෙසේ දක්වයි.
‘‘පඤචමානි භික්‍ඛවේ
මාතුගාමස්ස ආවෙණිකාණි දුක්ඛානියාති.මාතුගාමො පඤ්චනුහොති.අඤ්ඤත‍්‍ර පුරුසෙහි කතමානි
පඤ්ච? ඉධ භික්ඛවේ
මාතුගාමො දහරොව සමානො පතිකුලං ගච්ඡති. ඤාතකෙන විනාහොති. ඉදං භික්ඛවේ මාතුගාමස්ස
පඨමං ආවෙණිකං දුක්ඛං යං මාතුගාමො පච්චනුහොති.අඤ්ඤත්‍රෙව පුරිසෙහි, පුන ච පරං ගබ්භිණි
හොති... මාතුගාමං විජායී... ’’10
මෙයට අනුව ස්ති‍්‍රයට
ආවේණික වූ දුක් 05කි. එහෙත් එම අවෙණික
දුක් පදනම් කොට ගෙන ස්ති‍්‍රයට නිගාකිරීම, අපවාද නැඟීම, අවමානයට ලක් කිරීම අනුචිතය. මන්ද එම ආවේණික
දුක් කුමන කරුණක් නිසා ආවේණික වූයේද යන්න
විචාර ශිලීව වීමසා බැලීමට බුදු සමය
අවස්ථාව සලයසි.
·
ඥාතීන්ගෙන්
වෙන් වීම.
·
ඔසප් වීම.
·
ගැබ් ගැනීම.
·
දරුවන් වැදීම.
·
ස්වාමියාගේ
පාදචරිකාව වීම.
මෙම කරුණු 05 පිළිබඳ වූ උක්ත සූත‍්‍ර
දේශනාව තුළ දක්වනූයේ අතිශය ගැඹුරු සංකල්පයන් ඉස්මතු කරමින් ය. මන්ද ස්ති‍්‍රය තම
ඥතීන් හැර යන්නේද ඔසප් වන්නේ ද ගැබ් ගන්නේ ද දරුවන් බිහි කරන්නේ ද ස්වාමියාගේ
පාදපාචාරිකාව වන්නේ ද සෘජුවම ඇයගේ හුදු යහපත සඳහා නොව සමාජයේ දීර්ඝකාලීන පැවැත්ම උදෙසා
සිදුකරන ආත්ම පරිත්‍යාගයක. එම ආත්ම පරිත්‍යාගය නිසා ඇය ලැබූ ස්ති‍්‍රත්‍වයට යමෙක්
නිගා කරන්නේ නම් එය කොතරම් සාධාරණය ද යන්න ප‍්‍රස්නාර්ථයකි. බුදු සමය පෙන්වා දෙන්නේ ඇය එම සියලූ කායික හා
මානසික පිඩාවන්ට ගොදුරු වනුයේ පුරුෂයාගේ,
ස්වාමියාගේ දරුවා
මෙලොවට දායාද කිරීම සඳහාය.
එම නිසා ඇය ජීව විද්‍යාත්මකව
ඔසප් වීම, ගැබ්ගැනිම,
දැරුවන් ප‍්‍රසූත
කිරීම යනාදී දුක් උරුම කොට විඳදරා ගනී. එය ශ්‍රේෂ්ට කැප කිරීමකි. මන්ද එම කි‍්‍රයාවලිය
මත මුළු මහත් ලෝකයක පැවැත්ම රදා පවතී. එය ඇය විසින් කායිකව විඳ දරාගනු
ලබනන්නකි.අනෙක් කරුණු දෙක සමාජය විසින් සම්මත කොට
පවරණ ඒවාය. එය ඇය ලද ස්ති‍්‍රත්‍වයට ද`ඩුවමක් කොට නොව මා හැඟි භාග්‍යයක් ලෙස බුදු
සමය දකියි.
ඒ අනුව ස්ති‍්‍රය,
ස්ති‍්‍රත්‍වය නිසා
කායිකව ලබන දුක් වේදනාවන් පුරුෂයාගේ දරුවා මෙලොවට දායද කිරීම හා ඇයගේ ස්ති‍්‍ර
භාවය පදනම් කොට ලබන දුක් වේදනා ලෙස ප‍්‍රකට
වේ එම නිසා ඇයට සමාජයෙන් වශයෙන් තත්
ජීවවිද්‍යාත්මක සාධක ඔස්සේ උපකාර කළ
හැකිය. එය සොහොයුරියක ,දියණියක ,මවක බිරිඳක, කාන්තාවක, උපාසිකාවක, භික්‍ෂුණියක, රහත් තෙරණියක ආදී
වශයෙන් විවිධ ස්ථරයන් නියෝජනය කරයි.
Ø ආචාර විද්‍යාත්මක ප‍්‍රවේශය.
මෙම ආචාර විද්‍යාත්මක
ප‍්‍රවේශය ඔස්සේ ජීවවිද්‍යාත්මක සාධක පදනම් කොට ගත් දර්ශනයක් ඉදිරිපත් කරයි.එහිදී
උක්ත අවෙණිකදුක්‍ඛ සූත‍්‍රාගත වේදනාවන් ජීවවිද්‍යාත්මකව ලැබුව ද ආචාර විද්‍යාත්මකව බැලූ විට ඒ සියල්ලක්ම ඇයට
උරුම වනුයේ සිය ස්වාමියාගේ දරුවා මෙලොවට දායාද කිරීම සඳහා බැවින් ඇය මවකි.
බුදුරදුන් දේශිත ධර්ම අතර මාතෘත්‍වයට හිමි
වනුයේ පරම පූජනියත්‍වයකි.එම නිසාම මව පුබබදෙව, පුබ්බචරිය, සතර බ‍්‍රහ්ම විහරණවලින් හෙඹි තැනැත්තියක්
බවට උසස් කොට තිබේ.එම නිසා යමෙකු ස්ති‍්‍රයට නිගා කරුනුයේ නම් බුදු සමය පෙන්වා දෙනුයේ මාතෘත්‍වයට කරණු
ලබන අවමානය ලෙයස.මන්ද ප‍්‍රබල සංකල්පයන් විස්තර කිරීමේ දී බුදු රදුන් උපමාවට ගෙන
ඇත්තේ මාතෘ ස්නේහයයි.
‘‘මාතා යථානියං පුත්තං ආයුසා ඒක පුත්ත
මනුරක්ඛේ
ඒවංපි සබබභූතේසු මානසම්භාවයේ අපරිමාණං’’11
මෙවැනි කරුණු තුළින් ප‍්‍රකට
වනූයේ මාතෘත්‍වයට ලබා දී ඇති පූජනීයත්වයි, සිගාලෝවාද, පරාභව ආදී සූත‍්‍ර දේශනාවන්හි දි එයට අදාළ
කරුණු දක්වා ඇත.
එමනිසාම උක්ත කරුණු
පදනම් කොට ගෙන ස්ති‍්‍රය දෙස සොයුරියක,දියණියක, යුවතියක, බිරිදක, මවක, වැඩිහිටි,
කාන්තාවක, පමණක් නොව ඉන් ඔබ්බට
ගිය භික්‍ෂූණියක, රහත්
තෙරණියක් දක්වා ගමන් කළ හැකි ශක්‍යතාවයයෙන් යුත්ත වූ තැනැත්තියක ලෙස හඳුනා ගත
හැකිය.එමෙන්ම තත්කාලීන භාරතීය සමාජය තුළ මෙම ආචාර විද්‍යාත්මක පදනම ඉවතලා භෞතික ශාරීරික
ලක්‍ෂණ සලකාපහත් කොට තැකු අවස්ථා දක්නට ලැබේ. එවැන් අවස්ථාවක් කොසොල් රජු සම්බන්ධව
දක්නට ලැබේ.
“අථඛො අඤඤතරො පුරිසො රජා පසෙන දී කොසලෝ
තෙනුපසංකමි. උපසංකමිත්‍වා රඤෙඤා පසේනදි කොසලසස උපකණ්ණකෙ ආරොචෙසි. මල්ලිකා දේවී
ධීතරං විජානාති. එවං වුතතේ රාජා පසේනදි කොසලො අනත්තමනො හෝති”12
මෙහිදී රාජ පුරුෂයන්
විසින් කොසොල් රජුට මල්ලිකා දේවිය
දියණියක් බිහිකළ පුවත දැන්වීමත් සමඟ මුහුණ වෙනස් විය.නොසතුටු ස්වභාවයක් ප‍්‍රකට
කළේය. මෙයට හේතුව තත්කාලීන සමාජයේ ස්ති‍්‍රය යම් අවතස්සේරුවකට ලක් කිරිමේ ප‍්‍රතිඵලය
වශයෙනි.
“බාල්‍යෙ පිතුර්වශෙ
තිෂ්ඨේයත් - ප‍්‍රාණි ග‍්‍රාහස්‍ය යෞවනෙ
පුත‍්‍රාණං භාර්තිප්‍රෙතෙ
- නාසතිස්තී‍්‍ර ස්වතන්ත‍්‍රතාම් ”13
උක්ත උද්ධෘතයට අනුව
ස්ති‍්‍රය යනු කුඩා කළ පියා යටතේ ද, තරුණ වියේදී සවාමියා යටතේ ද, මහළු වියේ දරුවන් යටතේ ද, සිටිය යුතුය කිසිදු
මොහොතක කිසිඳු ස්වාධීන, ස්වත‍්‍රන්ත‍්‍ර
ස්වායත්ත විය නොහැකිය.අන්‍ය සමය වාදින් උක්ත කරුණු තුළින් ස්ති‍්‍රය ප‍්‍රබල
අනාරක්‍ෂිත තැනැත්තියක් ලෙස හුවා දැක්වු ද බුදු සමය එසේ සිදු වනුයේ ඇය සමාජය උදෙසා
සුදු කරනු ලබන කැප කිරීමට දක්වනු ලබන සැලකිල්ල නිසා මිස ඇය සතු දුර්වල තත්වයක්
නොවන බව මනාව පෙනවා දෙය.
එසේම ස්ති‍්‍රය එවැනි
ප‍්‍රබල හා මානසික අවපීඩනයකින් යුක්ත තැනැත්තිය නොවන බව තත්කාලීන භාරතයට සමාජ පසුබිම හමුවේ අනවබෝධයෙන් අපහසු
තාවයට පත් කොසොල් රජුට බුදු රදුන් දේශනා කරයි.
“ඉත්‍ථිපි හි එකච්චයා
සෙය්‍යා පොස ජනාධිප
මෙධාවිනි සීලවති
සසසුදෙවා පතිබ්බතා ”14
මෙයට අනුව ස්ති‍්‍රය ද
පුරුෂයා මෙන් ශ්‍රේෂ්ඨත්‍වයට පත්වේ.එබැවින් ඇය ලඝුකොට තැකීම සදාචාරාත්මක ගැටළුවකි.
එබැවින් බුදු රදුන් පෙන්වා දෙනුයේ කායිකව ලද ස්ති‍්‍රතවය තුළින් හා සමාජය විසින්
ගොඩ නගන ලද ස්ති‍්‍රභාවය මඟින් අචාරවිද්‍යාත්මකව ඇය ගරු කිරීම, පූජ්‍යත්වයක් ලබා දිය යුතු බවයි. මන්ද සදාචාරයක්, පුද්ගලරාශි සමාජයක්, අදී විවිධ ප‍්‍රස්තුතයන් පිළිබඳ යමෙකුට
මෙලොව කථා කළ හැක්කේ මවක සිදු කරනු කි‍්‍රයාවලිය නිසාමය.මේ අයුරින් විමසා බැලීමේ
දී අචාර විද්‍යාත්මක ප‍්‍රවේශයක්
ඔස්සේ ස්ති‍්‍රය අවමානයකට පත් කිරීම කළ නොහැකිය.එසේ
වුවත් එවැනි අවස්ථා රාශියක් විවිධ මුලාශ‍්‍ර ඇසුරින් දැක ගත හැකිය. ඒ අතර
“ස්ති‍්‍රය කුඩා කල පියාටද, තරුණ වියේ දී පුරුෂයාට
ද, මහළුවිය පුත‍්‍රයාට
ද යටත්ව වාසය කළ යුතුය.” (මනුවෛදික බ‍්‍රහ්මණය)
ස්ති‍්‍රය විසින් පවත්වනු ලබන යාග පුජාවන්
දෙවියාට අපි‍්‍රය වේ. (මනු වෛදික බ‍්‍රහ්මණ)
යම් හෙයකින් කුලීන
ස්ති‍්‍රයක් කුලහීනයෙකු සම`ග ලෝකාස්වාද
රතියේ යෙදුණ හොත් ඇය මහජනයා රැස්ව සිටින තැනක බල්ලන් ලවා සපා කවා මරා දමන්නට නියම
කළ යුතුය.(ගෞතමා චාර්ය වෛදික බ‍්‍රහ්මණය)
ස්ති‍්‍රය පිරිමියකුගේ
ලස්සන ගැන නොතකයි. ඔහු පිරිමියක් නම් පමණක් ඒ ඇයට හොදටෝම ඇතිය. ස්ති‍්‍රයට ලස්සනත්
කැතත් අතර වෙනසක් නැත (වශිෂ්ඨ වෛදික බ‍්‍රහ්මණය)’’15
මෙම උදධෘතයන් තුළින් ප‍්‍රකට
වනුයේ තත් සමාජය ආචාර විද්‍යාත්මකව ස්ති‍්‍රය කෙරෙහි කෙබඳු ආකල්පයක් දරන ලද්දේද
යන්නයි.ඒ සමාජ ගටලූවකි.ඒ පිළිබඳව බුදු සමය ඉතා පැහැදිලි ආකල්පයක් ඉදිරිපත් කරයි.
“න ජච්චා වසලෝ හෝති - න
ජච්චා වසලෝ හෝති බ‍්‍රහ්මණෝ
කම්මනා වසලෝ හෝති -
කම්මනා හෝති බ‍්‍රහ්මණෝ”16
මේ අයුරින් විමසා
බැලීමේ දී යමෙකු යහපත් හෝ අයපත් වනුයේ ලබන උපතින් හෝ ස්ති‍්‍ර පුරුෂ ආදී
ස්වරූපයන්ගෙන් නොව පුද්ගලයා කරනු ලබන කි‍්‍රයාවන් සම`ගය.එය ස්ති‍්‍ර පුරුෂ ආදීන්ටද පොදු වූ ධර්ම තාවයකි. බුදු දහමට
අනුව කිසිවෙකුට තවත් කෙනෙකු පිඩාවට ලක් කිරීමට හෝ නින්දාවට ලක් කිරීමට සදාචාරාත්මක
අයිතියක් නොමැත. කවරෙකු හෝ යහපතක් කරනුයේ නම් එය අගය කිරීම බුදු සමයේ ස්වභාවයය. එම
න්‍යායම ස්ති‍්‍රත්‍වය හා ස්තී‍්‍ර භාවය තුළින් සමාජ ගැටලූ වලට මුහුණ දෙන
කාන්තාවන් කෙරෙහි ද යොමු වනුයේ ආචාර විද්‍යාත්මක පසු බිමක් මතය.
Ø මනෝවිද්‍යාත්මක ප‍්‍රවේශය.
ස්ති‍්‍රය පිළිබඳව ජීව
විද්‍යාත්මක ප‍්‍රවේශයක් ඔස්සේ ලබාගත් සාධක අනුව ආචාර විද්‍යාත්මක පදනමක් ඉදිරිපත්
කරන බුදු සමය සමාජය විසින් ගොඩ නගනු ලද යම් යම් ගැටලූ සම්බන්ධයෙන් තම ස්ථාවරය ප‍්‍රකට
කරයි.එහිදී ස්තී‍්‍රත්‍වය පුරුෂත්‍වය යන භෞතිකමය ස්වභාවයන් මානසික කි‍්‍රයාවලියක ප‍්‍රතිඵලයක්
ලෙස සිදු වන්නක් බව අග්ගඤ්ඤ සූත‍්‍රය තුළින් ප‍්‍රකට වේ.ඒ බව ආභස්සර බ‍්‍රහ්ම
ලෝකයෙන් පෘථිවිය කරා පැමිණි මූලික සත්වයා
“න ඉත්ථි පුමා පඤ්ඤා
යන්ති”17
යන්නට අනුව ස්තී‍්‍ර
පුරුෂ භේදය රහිත එක සත්ව කොටසක් පමණක් විය. පසු කාලීනව සිදු කරන ලද කායික හා
මානසික කි‍්‍රයාවන්ගේ ප‍්‍රතිඵලයක් වශයෙන් ස්තී‍්‍ර පුරුෂ භේදය ඇති විය.එහි දී
පූර්ව ආත්ම භාවයන් හි ස්ති‍්‍රයක් ලෙස ඉපිද ලද ලිංගික අත් දැකීම් මත ඇතැම් සතත්වයෝ
ස්ත‍්‍රිහු වූහ.පුරුෂයෙකු ලෙස ලිංගික අත්දැකීම් ලද්දහු පුරුෂයෝ වූහ.එයින් ප‍්‍රකට
වනුයේ ස්තී‍්‍රත්‍වය හා පුරුෂත්‍වයට යම් මානසික බලපෑමක් ලැබෙන බවයි මනෝමුලික සත්‍වයෙක්
වන මිනිසාගේ සියලූ කායික මානසික වාචසික කි‍්‍රයාවන්ට මූලික වන්නේ මනසයි.
“මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝ මයා”
යන්න එය වඩාත් තහවුරු
කරයි.මේ අනුව සත්‍වයාට ස්තී‍්‍රත්‍වය හා පුරුෂත්‍වය හිමි වනුයේ යම් මනෝ විද්‍යාත්‍මක
පදනමක් යටතේ බව බුදු සමය පෙන්වා දෙයි.ඒ සඳහා ප‍්‍රධාන මූලාශ‍්‍රය බවට
සංයෝගවිසංයෝගධම්මපරියාය සූත‍්‍රය හඳුනා ගත හැකිය. එම සූත‍්‍රන්තර්ගතය පූර්වයෙහි ද
සඳහන් කළ ආකාරයෙන් පෙනී යයි.
ස්ති‍්‍රය - ස්ති‍්‍ර
ශරීරයක් ඇති එම ස්ති‍්‍ර අඟ පසඟ කෙරෙහි ලැදියාවක් දක්වන බාහිරින් පුරුෂ රූපයකටඅලූම් කරන මනුෂ්‍ය සත්‍වයාය.
පුරුෂයා - පුරුෂ
ශරීරයක් ඇති එම අඟ පසඟයන්ට ලැදියාවක් දක්වන බාහිරින් ස්ති‍්‍ර රූපයකට ඇලූම් කරන
මනුෂ්‍ය සත්‍වයාය.
යන්න එහිදී දක්වයි
එසේම වාසේට්ඨ සූත‍්‍රයේද දක්වනුයේ මිනිසා අතර ස්ති‍්‍ර පුරුෂ වශයෙන් පමණක් භේදයක්
පවතින බවයි මෙහිලා වඩා වැදගත් වනුයේ තත් ශරිරයට ආශාකිරීමයි. එයින් ශරීරරය කෙරෙහි
මිනිසාගේ මනස දැඩිව බද්ධවේ. එය ඔහු හෝ ඇය ලැබූ ලිංගිකමය අත්දැකීම් මතය.එම මානසික
තත්ත්වය මත දීර්ඝ කාලීන ලද හුරුව නිසා එම අනන්‍ය තාවය ගොඩ නැගී ඇත. ඒ අනුව මනෝවිද්‍යාත්මක
කි‍්‍රයාවලියක් ලෙස ස්තී‍්‍රත්‍වය හා පුරුෂත්‍වය බුදු සමය පෙන්වා දෙයි.මෙහිලා අනන්‍ය
සමය වාදයන් තුළ ස්ති‍්‍ර නිගරු කොට, දුබල කොට දක්වන අවස්ථා රාශියක් ඇත. එම මත වාදයන්
බොහෝමයක් ස්වකීය ආධිපත්‍ය හා පහසුව උදෙසා සකස් කොට ගත් ඒවා බව විමර්ශනාක්‍ෂියෙන් බැලූ විට ප‍්‍රත්‍යක්‍ෂ වේ.
බුදු සමය තුළ ද අවස්ථා
කිහිපයක යම් යම් තත්වයන්ට පත් වීම උදෙසා ස්තී‍්‍රත්‍වය බදාවක් බව පෙන්වා දී ඇත.ඒ
වනාහි ඇය පහත් කිරීමේ අරමුණෙන් නොව එම තත්තයන් හි පවත්නා ගැබුරු භාවය මතය.එබඳු
අවස්ථා කිහිපයක් බහු ධාතුක සූත‍්‍රයෙන් උද්ධෘත වේ.
‘‘අට්ඨමේතං අනවකාසෝ යං
ඉත්ථි අරහං අස්ස සම්මා සම්බුද්ධෝ නේතං ඨානං විජ්ජ්තී’ති පජානාතී. ඨානං ච ඛෝ ඒතං
විජ්ජති යං පුරිසෝ අහරං පුරිෂ සම්මා සම්බුද්ධෝ ඨාන මේතං විජ්ජතී’ති පජානාති
අට්ඨමේතං අනවකාසෝ යං ඉත්ථි රාජා අස්ස චක්ක
වත්තී නේතං ඨානං විජ්ජ්තී’ති පජානාතී ඨානං ච ඛෝ ඒතං විජ්ජති යං පුරිසෝ රාජා පුරිෂ
චක්කවත්තී ඨාන මේතං විජ්ජතී’ති පජානාති”
අට්ඨමේතං අනවකාසෝ යං ඉත්ථි සක්කත්තං කරෙය්‍ය
නේතං ඨානං විජ්ජ්තීී’ති පජානාතී ඨානං ච ඛෝ ඒතං විජ්ජති යං පුරිසෝ සක්කත්තං කරෙය්‍ය
ඨාන මේතං විජ්ජතී’ති පජානාති
අට්ඨමේතං අනවකාසෝ යං ඉත්ථි මාරත්තං කරෙය්‍ය
නේතං ඨානං විජ්ජ්තීති පජානාතී ඨානං ච ඛෝ ඒතං විජ්ජති යං පුරිසෝ මාරත්තං කරෙය්‍ය
ඨාන මේතං විජ්ජතිත පජානාති”
අට්ඨමේතං අනවකාසෝ යං ඉත්ථි බ‍්‍රහ්මත්තං
කරෙය්‍ය නේතං ඨානං විජ්ජ්තීී’ති පජානාතී ඨානං ච ඛෝ ඒතං විජ්ජති යං පුරිසෝ බ‍්‍රහ්මත්තං
කරෙය්‍ය ඨාන මේතං විජ්ජිතී’ති පජානාති”18
උක්ත බහුධාතුක සූත‍්‍රයට
අනුව බුදු රදුන් ස්ති‍්‍රයකට පත්විය නොහැකි අවස්ථා කිහිපක් දේශනා කොට ඇත.
·
සම්මා සම්බුදු
රජාණන් වහන්සේ
·
සක්විති රජු
·
සක‍්‍රදේවේන්ද්‍රයා
·
මාරයා
·
බ‍්‍රහ්මයා
යන පදවීන්ට ස්ති‍්‍රයකට
පත් විය නොහැකිය. මේ පිළිබඳව විමසීමක දී ස්ති‍්‍රයට බුදු සමය සිදු කරන අසාධාරණයක්
ලෙස බාහිරින් විද්‍යමාන වේ. එහෙත් ගැඹුරින් විමසීමේ දී ඒ තුළ යම් පදනමක් දක්නට
ලැබේ. එය මානසික හා කායික ශක්තීන් මත පදනම් වූවකි මන්ද ස්ති‍්‍රය යනු මවකි. මව යනු
සමාජයට විශාල කැප කිරීමක් කරනු ලබන උතුම් තැනැත්තියකි. එම තැනැත්තියගේ මනස වහා
සානුකම්පිත වේ. වේදනාවට පත්වේ. එසේම කයද මාතෘ භාවයට සුදුසු වූවකි. එම නිසා ඇය
ගතින් මෙන්ම සිතින් ද මවකි. එකී මවකට එකවර සියල්ල අතහැර දැමිය නොහැකිය. ඇය දාරක ස්නේහයෙන් අනුනය (මාතා යථා නියං පුත්තං
අයුසා එක පුත්ත මනු රක්ඛේ). බුදු බව, චක්ක‍්‍රවර්තී බව ආදී පදවීන් ඉතා දෘඪ ආත්ම පරිත්‍යාගයන්හි
ප‍්‍රතිඵලයන් ය. මවකට එකවර තම දරුවන් ආදිය අතහැර දමා බුදු බව, සක්විති පදවිය,
ශක‍්‍රපදවිය, බ‍්‍රහ්මත්‍වය,
අපේක්‍ෂා කළ නොහැකිය. මාරත්‍වයට
කෙලෙසවත් ළඟා විය නොහැකිය. ඇයගේ ජීවිතයම දරුවන් හා බැඳී පවතින්නකි. එම තත්තවය මත
ස්තී‍්‍රයකට උක්ත තත්තවයන්ට පත්විය නොහැකිය. එය ස්ති‍්‍රයක් වීමේ විපාකයක් නොව කැප
කිරීමක ප‍්‍රතිඵලයකි. එබැවින් එම
තත්තවයන්ට පත්වීම සඳහා පුරුෂ ආත්ම භාවයන් ලබා ගත යුතුය. එසේම එම ප‍්‍රබල
ස්ථරයන්ට අනුව අරහත් ආදී තතත්වයන් ට පත්
වීමට ස්ති‍්‍රත්වය කිසිඳු බාධාවක් නොවන බව බුදු සමය පෙන්වා දෙයි.
එසේම බුදු සමය පෙන්වා
දෙනුයේ මනස තුළ ගොඩ නැගෙන එම ස්ති‍්‍රත්‍වයට ඇති පසු බිම වෙනස් කිරීම මත පුරුෂ
ආත්ම භාවයක් ලබා තත් තතත්වයන්ට පත්විය හැකි බවය.එසේම ආර්ය මාර්ගයට පිවිස කෙලෙස් ප‍්‍රහීන
කළ පසු ස්ති‍්‍ර පුරුෂ වශයෙන් මනස තුළ ආකල්පයක් නොමැති බවද ඉතා ගැඹුරින් පෙන්වා
දෙයි.
ඒ සඳහා ප‍්‍රබල
නිදර්ශනයක් සෝමා ථේරී ගාථා තුළ දක්නට ලැබේ.මාරයා ඇසූ දැගුලක් පමණ නුවණ ඇති ස්ති‍්‍ර
කෙසේනම් ධර්මය අවබෝධ කරගන්නේ ද යන්නට සෝමා තෙරණිය පිළිතුරු දෙනුයේ කෙලෙස් නැසීමට
ස්ත‍්‍රීත්‍වය බාධාවක් නොවන බවත් කෙලෙස් නැසූ පසු ස්ති‍්‍ර පුරුෂ භේදයක් නොමැති
බවයි.
‘‘යං තං ඉසීහි පත්තබ්බං
ඨානං පුර සම්භවං
න තං ද්වංගුලං පඤ්ඤාය
සක්කා පප්පෝතු මිත්ථියා
ඤානම්හි වත්තමානම්හි
සම්මා ධම්මං විපස්සිතො
සබ්බත්ථ විභතා නන්දි
තමොක්ඛන්ධෝ පදාලිත’’19
ඉහත සෝමා ථේරී
ගාථාවෙන් ද ප‍්‍රකට වනූයේ ස්තී‍්‍රත්‍වයට අදාළ මානසික බැඳීම ද පුරුෂත්‍වයට අදාළ මානසික බැඳීමද ඉවත් කළ පසු එම
නික්ලේශි චරිතය තුළ ස්ති‍්‍ර පුරුෂ භේදයක් නොමැති බවයි. එය බුදු සමය ස්ති‍්‍රත්‍වය
හා ස්ති‍්‍ර භාවය පිළිබඳව දක්වන ලද මනෝ විද්‍යාත්මක ආකල්පයයි.
මේ අයුරින් විමසා
බැලීමේ දී ස්ති‍්‍ර කෙරෙහි පදනම් වන ස්ති‍්‍රත්‍වය හා ස්තී‍්‍රභාවය පිළිබඳව සමාජ
ගැටලූවට උක්ත ප‍්‍රවේශයන් තුන ඔස්සේ ගැඹුරු ආකල්පයක් ස්මතු කරන බව ප‍්‍රකට වේ.එසේම
එම තත්තවය තුළින් සමාජයේ දී මවට වි`දීමට සිදු වන පීඩාවන් අවම කරගැනීම සඳහා
·
ථෙරී ගාථා
පාලිය
·
සිගලෝවාද සූත‍්‍රය
·
වසල සූත‍්‍රය
·
පරාභව සූත‍්‍රය
·
කරණීය මෙත්ත
සූත‍්‍රය
·
චක්කවත්ති
සීහනාද සූත‍්‍රය
·
ගෝතමී සූත‍්‍රය
·
ධීතූ සූත‍්‍රය
·
මල්ලිකා සූත‍්‍රය
ආදි විවිධ සූත‍්‍රයන්
හා ජාතක කථා ආදී පරමා දර්ශි මූලාශ‍්‍රයන් තුළ උසස් පූජනීය චරිතයක් බවට පත්කොට ඇත.
මේ සියලූ කරුණු විමසා
බැලීමෙන් නිගමනය කළ හැකි වනුයේ ස්ති‍්‍රත්‍වය හා ස්ති‍්‍ර භාවය උරුම වන ස්ති‍්‍රයට
සමාජය විසින් ගොඩ නඟන අපගාමී ආකල්පයන් පදනම් රහිත බවයි. මන්ද ඇය ස්වකීය ස්වාමියාගේ
දරුවා මෙලොවට දායාද කිරීම සඳහා තත් කායික මානසික තත්වයන්ට මුහුණ දෙන අතර සමාජයේ ප‍්‍රවර්ධනයට
තම නිර්වාණ ගාමී ප‍්‍රතිපදාවද කැපකරන බැවිණි.එසේම එම භූමිකාව මත සිටින ඇය සොයුරියක,
යුවතියක, නැගණියක, බිරිඳක, මවක, වැඩිහිටි කාන්තාවක,
උපාසිකාවක, භික්‍ෂූණියක, රහත් තෙරණියක ආදී
වශයෙන් විවිධ භූමිකාවන් මගින් විශාල පරිත්‍යාගක් මුලූ මහත් සමාජය උදෙසා සිදු කරන
උත්තමාවියක් ලෙස බුදු සමය පෙන්වා දෙයි. මවකගෙන් තොර ලෝකයක් පිළිබඳ විමසීමක් කළ
නොහැකිය. එම යථාර්ථය දකින බුදු සමය ස්තී‍්‍රත්‍වය හා ස්ති‍්‍ර භාවය පිළිබඳව සමාජය
දක්වන විවිධ ගැටලූ කාරීත්‍වයන්ට උක්ත පරිදි සිය ආකල්පය ඉදිරි පත් කරයි.
ආන්තික සටහන්
1. අලගියවන්න සංස්කෘත සිංහල ශබ්ද කෝෂය,සං,පුවසති අලගියවන්න, සූරිය ප‍්‍රකාශකයෝ, එස් ඇනඞ් එස් ප‍්‍රින්ටර්ස්, 49 ජයන්ත ජයසේකර මාවත, කොළඔ 10, 2002, 911 පිටුව.
2. නිරුත්ති සහිත සිංහල ශබ්ද කෝෂය, සිරි ලියනගේ, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඔ 10, 2001, 306 පිටුව.
3. The Concise
Oxford Dictionary, ninth edition, edited by thomson, oxford
univesity press, bombay calcutta madras, 1995, page No.1611.
4. ප‍්‍රත්‍ය ශතකය, 10 පිටුව.
5. ප‍්‍රත්‍ය ශතකය, 17 පිටුව.
6. මඃනි, මඃප බ‍්‍රහ්මණ වග්ගය, වාසේට්ඨ සූත‍්‍රය,බුද්ධජයන්ති තිපිටක ග‍්‍රන්ථමාලා,2006,
718 පිටුව.
7. අං:නි:, සත්තකනිපාතය, පඨමපණ්ණිසකය, මහායඤ්ඤවග්ගය, සංයෝගවිසංයෝගධම්මපරියාය සූත‍්‍රය, බුද්ධජයන්ති තිපිටක ග‍්‍රන්ථමාලා, 2006, 366 පිටුව.
8. දිඃ නි, පාඨික වග්ගය,
අග්ගඤ්ඤ සූත‍්‍රය, බුද්ධජයන්ති තිපිටක ග‍්‍රන්ථමාලා, 2006, 144 පිටුව.
9. දිඃ නි, පාඨික වග්ගය, අග්ගඤ්ඤ සූත‍්‍රය
බුද්ධජයන්ති තිපිටක ග‍්‍රන්ථමාලා, 2006, 150 පිටුව.
10. සං.නි, මාතුගාම සංයුත්තය, මාතුගාම වග්ගය,
ආවේණිකදුක්ඛ සූත‍්‍රය, බුද්ධජයන්ති තිපිටක ග‍්‍රන්ථමාලා, 2006, 452 පිටුව.
11. සුත්ත නිපාතය, උරග වගගය, කරණීය මෙත්ත සූත‍්‍රය, බුද්ධජයන්ති තිපිටක ග‍්‍රන්ථමාලා, 2006, 65 පිටුව.
12. සං.නි සගාථ වගගය, කොසල සංයුක්තය අපුත්තක වග්ගය ධීතු සූත‍්‍රය
බුද්ධජයන්ති තිපිටක ග‍්‍රන්ථමාලා, 2006, 158 පිටුව.
13. සුමන ජෝති නාහිමි, පල්ලත්තර. බුදු රජාණන්
වහන්සේ ලබා දුන් කාන්තා නිදහස හා විමුක්තිය, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඔ 10,
2011, 12 පිටුව.
14. සං.නි, සාගත වගගය කෝසල සංයුක්තය අපුත්ත
වගගය ධිතු සූත‍්‍රයබුද්ධජයන්ති තිපිටක ග‍්‍රන්ථමාලා,2006, 158 පිටුව.
15. ආරිය රත්න, රොකී කාන්තාව හා නීතිය, ස්ටැම්ෆර්ඞ් ලේක්ප‍්‍රකාශනයකි,
තරංජිත් ප‍්‍රින්ටර්ස්,
නාවින්න මහරගම, 2007, 8 පිටුව.
16. සුත්ත නිපාතය, උරග වග්ගය, වසල සූත‍්‍රය, බුද්ධජයන්ති තිපිටක ග‍්‍රන්ථමාලා, 2006, 42 පිටුව.
17. දී .නි පාටික වග්ගය, අග්ගඤ්ඤ සුත‍්‍රය,
බුද්ධජයන්ති තිපිටක ග‍්‍රන්ථමාලා, 2006, 148 පිටුව.
18. මජ්ක්‍ධිමනිකාය උපරි පණ්ණාසකය, අනුපද වග්ගය, බහුධාතුක සූත‍්‍රය, බුද්ධජයන්ති තිපිටක ග‍්‍රන්ථමාලා, 2006, 202 පිටුව.
19. සුමන ජෝති නාහිමි, පල්ලත්තර.බුදු රජාණන්
වහන්සේ ලබා දුන් කාන්තා නිදහස හා විමුක්තිය, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඔ 10,
2011, 29 පිටුව.
Superb
ReplyDelete